උත්සව

ගොන්පිට පෙරහැර

ගොනුන්පිට දේවාභරණ වඩම්මවන පෙරහැර නවගමුව පත්තිනි දේවාලයට ආවේණික දුර්ලභ පෙරහැරකි. මුළු ලෝකයේම පළමු වරට ගොනුන්පිට සධාතුක ධාතු කරඬුව සහ දේවාභරණ වඩමවා ඇත්තේ නවගමුව පත්තිනි දේවාලයේ බව ජනතාවගේ මතයයි.

ගොනින්පිට දේවාභරණ වැඩමවීම සිදු කරන්නේ ඈත අතීතයේදී සිදු වූ භාරයක් නිසාය. තමන්ට අයත් ගවයන් “කුර” කුණුවීමේ වසංගත රෝගයකට ගොදුරුව එකා පිට එකා මැරෙද්දී කොතරම් ප්‍රතිකාර සහ කෙම් ක්‍රම කලද සුවයක් දක්නට නොලැබුනු හෙයින් ගව පට්ටි අයිතිකරුවන් මෙන්ම කෘශිකර්මාන්තයේ යෙදුනු සහ කරත්ත කරුවන් තම ගව සම්පත බේරාගැනීමට භාරයක් වීමේ අදහසින් පත්තිනි දේවාලයට පැමිණියහ. තෙරුවන් නැමැද පුද පඬුරු ඔප්පු කර කපුතැන හමු වූ මෙම පිරිස් පවසා සිටියේ කුර කුණුවීමේ වසංගත රෝගයෙන් තමන්ගේ ගව සම්පත බේර දුන්නොත් ඇසළ පෙරහැර උත්සවයේදි තම ගවයන්ගේ පිටද දේවාභරණ වඩම්මවන බවට භාරවන බවයි. පත්තිනි දෙවියන් උදෙසා භාර වූ ජනතාව පුදුමයෙන් පුදුමයට පත් කරමින් කුර කුණුවීමේ වසංගත රෝගය නිමාවට පත්වී ගව සම්පත නිරෝගී විය. එතැන් සිට ගොනුන් පිට දේවාභරණ වැඩමවීමේ පෙරහැර ආරම්භ විය. මෙම දුර්ලභ පෙරහැර නරඹන්නට වර්තමානයේද ඇසළ පෙරහැර සමයේදී අති විශාල ජනතාවක් නවගමුවට පැමිණෙති. එසේම ප්‍රදේශයේ ගවයන් හිමිකරුවෝ තම ගවයන් දේවාල භූමියට රැගෙන එන්නේ තමන්ගේ මුතුන් මිත්තන් පුරාණ කාලයේ දෙවියන්ට භාර වූ භාර පැහැර නොහැර ඔප්පු සිද්ධ කිරීමටය.